අංක තහඩු සහ රියදුරු බලපත්‍ර ප්‍රමාදය ගැන දින 45ක් තුල වාර්ථාවක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට බලපා ඇති කරුණු පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් සිදුකර දින 45ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමේදී මෙම උපදෙස් ලබාදී ඇත.
අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු විමසූ කාරක සභාව, එය ආරම්භ වූ ආකාරය, ඊට බලපෑ පරිපාලන හා තාක්ෂණික කරුණු, ගත් පියවර මෙන්ම අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.
මේ අතර, 2026 මාර්තු 10 වැනිදායින් පසු ලියාපදිංචි කළ වාහන සඳහා දින 14ක් ඇතුළත අංක තහඩු ලබාදීම ආරම්භ කර ඇති බව නිලධාරීන් සඳහන් කර ඇත.
රියදුරු බලපත්‍ර ප්‍රමාදයට නව මුද්‍රණ යන්ත්‍ර
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ.
දැනට මුද්‍රණය සඳහා පවතින රියදුරු බලපත්‍ර සංඛ්‍යාව 678,000ක් පමණ වන අතර, දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 4,600කට පමණ සීමා වී ඇති බැවින් පසුබෑම තවදුරටත් ඉහළ යමින් පවතින බව නිලධාරීන් පවසා ඇත.
එම තත්ත්වය කඩිනමින් විසඳීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා වන විට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 8,200ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබේ.
මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය උපකරණ හා තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමත්, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පුරප්පාඩු පිරවීම සහ ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීමත් අවශ්‍ය බව කාරක සභාව අවධාරණය කර ඇත.
සූර්ය බලශක්තිය සහ බැටරි ගබඩා පද්ධති පිළිබඳවත් අවධානය
මේ අතර, බලශක්ති අමාත්‍යාංශය සහ අදාළ ආයතන සමඟ පැවති සාකච්ඡාවකදී වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති සහ උපපොළ ආශ්රිත බැටරි බලශක්ති ගබඩා පද්ධති පිළිබඳව ද අවධානය යොමු විය.
සූර්ය බලශක්ති උත්පාදනයේ වෙනස්වීම් හේතුවෙන් විදුලිබල ජාලයේ ස්ථාවරත්වය හා සංඛ්‍යාත පාලනය සම්බන්ධයෙන් ඇතිවන තාක්ෂණික අභියෝග සහ දහවල් කාලයේ විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් ඇතිවිය හැකි Reverse Power Flow තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති යොදාගැනීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කර තිබේ.
පාරිභෝගික මට්ටමින් විදුලි පරිභෝජනය හා උත්පාදනය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ස්මාර්ට් මීටර් ලක්ෂ 4ක් පමණ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒකක 180කට වැඩි විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන්ට ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදීමට නියමිත බව ද සඳහන් විය.
කොළඹ සහ කෝට්ටේ වැනි ප්‍රදේශවල බෙදාහැරීමේ ට්‍රාන්ස්ෆෝමර් ධාරිතා සීමා හේතුවෙන් සූර්ය බලශක්ති පද්ධති පුළුල් කිරීමේදී මතුවන බාධා මඟහරවා ගැනීම සඳහා ට්‍රාන්ස්ෆෝමර් මට්ටමින් කුඩා බැටරි පද්ධති ස්ථාපනය කිරීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු වී ඇත.
කුඩා පරිමාණ බැටරි පද්ධති සඳහා බදු සහන ලබාදීම හෝ බදු අඩු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ. එමෙන්ම බැටරි තාක්ෂණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල මට්ටමින් පුහුණු පාඨමාලා හඳුන්වාදීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු අදාළ ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද කාරක සභාවේදී අවධාරණය කර ඇත.

ඔබගේ අදහස්