News Article

ලෝහ බුද්ධ ප්‍රතිමා 6ක් සොරාගෙන

මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹාන ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මාවරගල ආරණ්‍ය සේනාසන පිරිවෙන් විහාරස්ථානයේ බුද්ධ මන්දිරය කඩා එහි තැන්පත් කර තිබූ පෞරාණික වටිනාකමකින් යුත් කුඩා ප්‍රමාණයේ ලෝහ බුද්ධ ප්‍රතිමා හයක් සොරාගෙන ගොස් තිබේ.

පසුගිය 23 වැනිදා රාත්‍රි කාලයේදී කිසියම් පුද්ගලයකු විසින් බුද්ධ මන්දිරයේ දොරගුළු කඩා ඇතුළුව මෙම සොරකම සිදුකර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගල්පෝරුයායේ සුසීමවංශ හිමියන් විසින් ඊයේ (24 වැනිදා) මහියංගණය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ලට අනුව සොරකම සම්බන්ධයෙන් මහියංගණය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. එම්. සිසිර බණ්ඩාර හේරත් ගේ මෙහෙයවීම යටතේ පොලිස් විමර්ශන අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, මෙම සොරකමට සම්බන්ධ සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සොරාගත් බුද්ධ ප්‍රතිමා සොයා ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

ඔබගේ අදහස්