News Article

පරිශීලක දත්ත නොමග යැවීමේ චෝදනාවට Meta සමාගමට ඩොලර් බිලියන 25ක දඩයක්

නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ අධිකරණයක් විසින් Facebook, Instagram සහ WhatsApp හි මව් සමාගම වන Meta සමාගමට ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර තිබේ. Facebook පරිශීලකයන්ගේ දත්ත භාවිතය සහ ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යැවීම ඇතුළු චෝදනා මෙම නඩුවට පදනම් වී ඇත.

වසර ගණනාවක් පුරා Facebook පරිශීලකයන්ගේ දත්ත හසුරුවන ආකාරය පිළිබඳව සමාගම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වූ බව වාර්තා වේ. ඒ අනුව, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ විනිසුරු ෆ්‍රැන්සිස් මැතිව් (Francis Mathew) විසින් මෙම දඩ මුදල නියම කර ඇත.

විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ, අදාළ අසත්‍ය ප්‍රකාශ Facebook හි දත්ත භාවිතයට පමණක් සීමා නොවී, සමාගමේ මූලික ව්‍යාපාරික ක්‍රියාකලාපයන් දක්වා විහිදී ඇති බවයි.

Facebook නමින් ක්‍රියාත්මක වූ සමයේ Meta සමාගම සම්බන්ධ වූ Cambridge Analytica දත්ත අපකීර්තිය මෙම නඩුවේ ප්‍රධාන කරුණක් වී තිබේ. එහිදී Facebook පරිශීලකයන් මිලියන ගණනකගේ දත්ත දේශපාලන උපදේශන කටයුතු සඳහා භාවිත කර ඇති අතර, 2016 අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළ කටයුතු සඳහා ද එම දත්ත යොදාගෙන තිබිණි.

මීට අමතරව, ද්වේෂ සහගත ප්‍රකාශ ඇතුළත් අන්තර්ගතයන්ගෙන් සමාගම ප්‍රතිලාභ ලබාගත් ආකාරය සහ එවැනි අන්තර්ගත පාලනය කිරීමේ නීති ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් ද මහජනතාව නොමඟ යැවූ බවට Meta සමාගමට චෝදනා එල්ල වි තිබේ .

ජූරි සභාව තීරණය කළේ, අදාළ කරුණු සම්බන්ධයෙන් සමාගම හිතාමතාම ජනතාව නොමඟ යවා තිබෙන අතර එමෙන්ම, ප්‍රාන්ත නීති මිලියන 40කට අධික වාර ගණනක් උල්ලංඝනය කර ඇති බවට ද ජූරි සභාව මෙහිදී  තීරණය කර තිබේ.

මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් Meta සමාගමේ ප්‍රධාන නීතිඥ CJ Mahoney ප්‍රකාශ කළේ, එම තීන්දුව නිසා නිව් මෙක්සිකෝ ප්‍රාන්තය තුළ ව්‍යාපාර පවත්වාගෙන යාම ප්‍රායෝගිකව අපහසු වන බවයි.

සමාගම මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම, මෙම නඩුව අන්තර්ජාලය තුළ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නව සීමා පැනවීමට උත්සාහ කරන බවට ද Meta සමාගම චෝදනා කර තිබේ.

Meta සමාගමට එරෙහිව ඩොලර් බිලියන 40ක් දක්වා දඩයක් නියම කරන ලෙස ප්‍රාන්ත නීතිඥවරුන් ඉල්ලා සිටි අතර, ඩොලර් බිලියන 3.4 ඉක්මවන දඩයක් ව්‍යවස්ථා විරෝධී විය හැකි බව Meta සමාගම මෙහිදී තර්ක කර තිබෙන බවට වාර්තා වේ .

කෙසේ වෙතත්, විනිසුරුවරයා සමාගමේ එක් කාර්තුවක ලාභයට ආසන්න මුදලක් වන ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර තිබේ. Facebook පරිශීලකයන්ගේ දත්ත භාවිතය හා හුවමාරුව පිළිබඳව සමාගම ඉදිරිපත් කළ වැරදි තොරතුරු සහ නීති උල්ලංඝනය කිරීම් 2010 සිට 2021 දක්වා වසර 11කට අධික කාලයක් පුරා හිතාමතා සිදු වූ බව විනිසුරුවරයා සඳහන් කළේය.

නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ නීතිපති රාඋල් ටොරෙස් (Raúl Torrez) පැවසුවේ, බලවත් තාක්ෂණික සමාගම්වලට පවා නීතිය ඉදිරියේ වගවීමෙන් මිදිය නොහැකි බව මෙම තීන්දුවෙන් පැහැදිලි වන බවයි.

මෙම තීන්දුව Meta සමාගමේ දත්ත පෞද්ගලිකත්වය සහ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ වගකීම් පිළිබඳව යළිත් ගෝලීය අවධානය යොමු කර ඇති අතර, සමාගම අභියාචනයක් ඉදිරිපත් කළහොත් නඩුවේ ඉදිරි ප්‍රතිඵලය තීරණාත්මක වනු ඇතැයි වැඩිදුරටත් සදහන් වේ .

 

ඔබගේ අදහස්