පූජනීය ස්ථානවලට ප්‍රහාර තර්ජන කල වට්ස්අප් සමුහයේ සැකකරු අත්අඩංගුවට
බුදුන් වහන්සේට අගෞරව වන පරිදි වට්ස්අප් සමූහයක් නිර්මාණය කර “දළදා මාලිගාව, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය, දඹුලු විහාරය ඇතුළු ස්ථාන රැසකට නොවැම්බර් 19 වැනිදා ප්‍රහාරය එල්ල කිරීම අපගේ එකම අරමුණයි.” ලෙස ප්‍රචාරය කිරීමේ සිදුවීමට අදාළව කිරිබමුණ, ඉබ්බාගමුව ලිපිනයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු පසුගිය සැප්තැම්බර් 30 වැනිදා අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් පැමිණිලි 05ක් ලැබී ඇති අතර එම සැකකරු 2026.10.01 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක B/91502/01/26 යටතේ අධිකරණයට ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා පැවසීය. එම සැකකරු මෙම මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බුද්ධි අංශ සහ අනෙකුත් සම්බන්ධිත විමර්ශන ඒකක මඟින් සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මුස්ලිම් ජාතිකයන්ගේ නම් ව්‍යාජ ලෙස භාවිත කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කර මෙම ප්‍රචාරණ කටයුතු සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද පැවසීය.
“2026.09.27 දින බුදුරජාණන් වහන්සේට අගෞරව වන අන්දමින් වට්ස්ඇප් (WhatsApp) සමූහයක් නිර්මාණය කර, එහි “2026.11.19 වැනි දින දළදා මාලිගාව, ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය, දඹුලු විහාරය ඇතුළු ස්ථාන රැසකට ප්‍රහාරය එල්ල කිරීම අපගේ එකම අරමුණයි” ලෙස ප්‍රචාරය කිරීමේ සිදුවීමට අදාළව පැමිණිලි 05ක් ලැබී තිබෙනවා. අදාළ සමූහ පරීක්ෂා කර එම සමූහ නිර්මාණය කරන ලද කිරිබමුණ, ඉබ්බාගමුව ලිපිනයේ පදිංචි, ජාතික හැඳුනුම්පත් අංක 200509503365 හිමි, වයස අවුරුදු 21ක් වන අතපත්තු මුදියන්සේලාගේ අමෝද්‍යා මතීශ ජයශ්‍රී අතපත්තු යන සැකකරු සැප්තැම්බර් 30 වැනි දින අත්අඩංගුවට ගත්තා.
පසුගිය වසර 10ක කාලය තුළ විවිධ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වෛරී ප්‍රකාශන සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය වෙත වාර්තා වූ පැමිණිලි 06ක් පිළිබඳ ඉදිරි පියවර ගැනීමට ක්‍රියා කර තිබෙනවා.
එසේ වුවද, සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය ඔස්සේ ජාතිවාදී, ආගම්වාදී වෛරී ප්‍රකාශ නිකුත් කරන තැනැත්තන් සම්බන්ධයෙන් පැමිණිලි ලද විගස ඒ සම්බන්ධයෙන් නීත්‍යනුකූලව පියවර ගනු ලබනවා. එහිදී එම ප්‍රකාශ නිකුත් කරනු ලැබූ පුද්ගලයාගේ ජාතිකත්වය හෝ ආගම පිළිබඳ සැලකිල්ලට නොගෙන ඔවුන් සිදු කරන ලද ක්‍රියාව සම්බන්ධව අපරාධ වර්ගීකරණයට ලක්කරන බව වැඩිදුරටත් සඳහන් කරනවා. යම් යම් අවස්ථාවලදී විවිධ ගිණුම් හරහා එවැනි ආකාරයට ප්‍රචාරණ නිරීක්ෂණය වුවද, පහත සඳහන් හේතු මත ඒවා පිළිබඳ විමර්ශනය කිරීම ගැටලු සහගත වී තිබෙනවා. එම සමාජ මාධ්‍ය පළ කිරීම් (Post) ප්‍රචාරණය පිළිබඳ පැමිණිලි වාර්තා නොවීම.
වර්තමානයේදී කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) යොදාගනිමින් ජාතීන් හා ආගම් අතර සහජීවනයට බාධා වන පරිදි සිදු කරනු ලබන පළ කිරීම් ක්‍රමිකව ඉහළ ගොස් තිබීම. ගිණුම් හසුරුවන්නන් (Admins) විදේශගතව සිටිමින් ක්‍රියාත්මක වීමත් නිරීක්ෂණය වෙනවා. මෙවැනි ආකාරයේ ක්‍රියාදාමවල නිරත වන්නන් තම සැබෑ අනන්‍යතාව හඳුනාගැනීම සීමා වන පරිදි තම ගිණුම් සකස් කරගෙන තිබීම. වර්තමානයේ මෙරට තුළ පවතින නීතිමය තත්ත්වයන් මෙම ප්‍රචාරණ ආවරණය වන පරිදි සකස් වී නොමැති වීම.
මෙම පළ කිරීම් සිදු කරනු ලබන සමාජ මාධ්‍ය ජාලවලට අයත් සමාගම් මෙරට තුළ ස්ථාපිතව නොතිබීම හේතුවෙන් විමර්ශනවලදී දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම. කෙසේ වෙතත්, විමර්ශන හා බුද්ධි අංශ දැඩි පරිශ්‍රමයක් දරමින් එම ගිණුම් හඳුනාගැනීම සඳහා කටයුතු කරමින් සිටී.
එවැනි ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය හෝ වෙනත් යම් ආධාරයක් ලැබෙන්නේද යන්න පිළිබඳව විමර්ශනය කර තිබේද කියා මන්ත්‍රීවරයා විමසනවා. එවැනි තත්ත්වයක් මෙතෙක් අනාවරණ වී නැත. තවදුරටත් පෙර වාර්තා කළ සිදුවීම් පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතිනවා. ශ්‍රී ලංකා පොලීසිය වෙත වාර්තා වන හෝ මහජන සාමය කඩවීමට හා ජාතීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හඳුනාගනු ලබන ඕනෑම අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ගනු ලබයි.

ඔබගේ අදහස්