මේක වුණේ පෙබරවාරි මාසේ ඒක සංචාරක ප්‍රවර්ධනය වැඩක්
විවිධ අරමුණු සහිත කණ්ඩායම් විසින් පසුගිය දින කිහිපයක් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ බෙදාහරිමින් තිබෙන පුවතක් පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ මාධ්‍ය ලේකම් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරයකට එක්වූ ඉන්දීය ආගමික නායක මහමණ්ඩලේශ්වර් ස්වාමි කෛලාසානන්ද ගිරි ජී පූජකතුමාගේ ප්‍රවෘත්තියක් මේ දිනවල සිදුවූවක් ලෙස හුවාදක්වමින් අර්ථකථනය කිරීම සාවද්‍ය බවයි.
‘2026 පෙබරවාරි 23 වැනිදා සිදු වූ සංචාරයක් පිළිබඳ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම’ යනුවෙන් එවා තිබෙන එම සම්පූර්ණ නිවේදනය මෙසේයි;
“ඉන්දීය ආගමික නායක මහමණ්ඩලේශ්වර් ස්වාමි කෛලාසානන්ද ගිරි ජී පූජකතුමාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත 2026 පෙබරවාරි 23 වැනිදා සිදු වූ සංචාරයකට අදාළ පැරණි පුවතක් බව අවධාරණය කරමි.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනයකට අනුව පසුගිය පෙබරවාරි 23 දින මෙරටට පැමිණි පූජකතුමා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ වැදගත් ශිව දේවාල කිහිපයක් ඇතුළු ආගමික හා ඓතිහාසික ස්ථාන නැරඹීමට එක්ව තිබිණි.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් වූයේ රාමායණ මංපෙත ඇතුළු ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික සංචාරක ආකර්ෂණීය ස්ථාන ඉන්දියානු බැතිමතුන් සහ සංචාරකයින් අතර ප්‍රවර්ධනය කිරීමයි. ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන රට වන ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම සඳහා මෙවැනි සංචාර වැදගත් වේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබාදීමත්, දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම සංචාරයේ අරමුණු අතර විය.
එබැවින්, මෙම පුවත වර්තමානයේ සිදුවන සිදුවීමක් ලෙස අර්ථකථනය කිරීම සාවද්‍ය බව අවධාරණය කරන අතර, පුවතේ දිනය සහ අදාළ පසුබිම සැලකිල්ලට ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමි”

ඔබගේ අදහස්