News Article

අනතුරට පත්වන අලි ඇතුන් රැකගැනීමට වනජීවි හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල අනතුරට ලක්ව සිටින වන අලි සහ ඇත් පැටවුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය කළ විශේෂ ඉල්ලීමකට අනුව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ සෘජු උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කඩිනමින් අදාළ ස්ථාන වෙත ගොස් සොයා බැලීමේ හා සහන සැලසීමේ විශේෂ මෙහෙයුම් අද (22) ආරම්භ කර ඇත.

පසුගිය දිනවල දිවයිනේ කලාප කිහිපයකින්ම අනතුරට පත් වනජීවීන් පිළිබඳව හදිසි තොරතුරු වාර්තා වූ බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.

‍ඒ අනුව අනුරාධපුර රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිහිඹියගොල්ලෑව ග්‍රාම සේවා වසමේ වේවැල්කැටිය ගම්මානයේ වැටී සිටි ඇත් පැටවා වනජීවී නිලධාරීන් විසින් මුදාගෙන, අනුරාධපුර පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන විත් ප්‍රතිකාර හා මූලික පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන ඇත. අනතුරුව වැඩිදුර පුනරුත්ථාපනය සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත යොමු කෙරේ. 

පොළොන්නරුව, ගල්ලෑල්ල සහ මානික්කම්පට්ටිය ආශ්‍රිත ප්‍රදේශයේ අනතුරට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වූ අවුරුදු 7ක් පමණ වන ඇත් පැටවා සම්බන්ධයෙන් වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහය ඇතිව කඩිනම් නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වේ. 

සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමළ කොටස 04 ග්‍රාම සේවා වසමෙන් වාර්තා වූ අලි පැටවාගේ තත්ත්වය පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇති අතර වන අලි සම්පත රැකගැනීම ජාතික වගකීමක් ලෙස සලකා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවශ්‍ය උපරිම සහාය, ක්ෂේත්‍ර ප්‍රවේශය සහ ආරක්ෂාව සැලසීමට ආරක්ෂක මේ වන විට කටයුතු කරනු ලබයි. 

ඒ අනුව, ඉදිරියේදීත් අනතුරට ලක්වන වනජීවීන් කඩිනමින් මුදාගැනීම හා වන අලි-මිනිස් ගැටුම පවතින සංවේදී ප්‍රදේශ නිරන්තර පරික්ෂාවට ලක් කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.

ඔබගේ අදහස්