News Article

මන්නාරම - තලෙයිමන්නාරම මාර්ගයේ යුද හමුදා රථයක් අනතුරට සෙබළෙක් මරුට - 11 කට තුවාල

මන්නාරම–තලෙයිමන්නාරම මාර්ගයේ යුද හමුදා රථයක් අනතුරට: සෙබළෙක් මරුට, 11කට තුවාල

මන්නාරම–තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයේ කිලියන්කුඩියිරුප්පු ප්‍රදේශයේදී අද (24) සවස යුද හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් සෙබළෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තලෙයිමන්නාරමේ සිට මන්නාරම දෙසට ගමන් කරමින් තිබූ යුද හමුදා ඩිෆෙන්ඩර් රථය කිලියන්කුඩියිරුප්පු ප්‍රදේශයේදී පාලනයෙන් මිදී මාර්ගය අසල තිබූ තල් ගසක ගැටී ඇති බව සඳහන්.

රථයේ ගමන් කළ සෙබළුන් 12 දෙනාම බරපතළ තුවාල ලබා පෙසාළෙයි රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

එහිදී එක් සෙබළෙකු තුවාල හේතුවෙන් මියගොස් ඇති අතර, ඉතිරි 11 දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බව සඳහන්.

මන්නාරමේ සංචාරයක නිරතව සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා මියගිය සෙබළාගේ දේහය සහ තුවාල ලැබූ සෙබළුන් බැලීමට රෝහල් වෙත ගොස් තිබෙනවා.

අනතුරින් ඩිෆෙන්ඩර් රථයට දැඩි හානි සිදුව ඇති බව ද වාර්තා වනවා.

ඔබගේ අදහස්