News Article

අමෙරිකාවෙන් එල්ල වියහැකි නව ප්‍රහාර හමුවේ වුවත් අපගේ ස්ථාවරය වෙනස් නොවෙයි

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි (Abbas Araghchi) අද (25) ඉරිදා ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය සමඟ නැවත යුද්ධයක් ආරම්භ වුවද තම රටේ ස්ථාවරය වෙනස් නොවන බවයි. ඒ ඉරානය විසින් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් අමෙරිකානු LUCAS වර්ගයේ ඩ්‍රෝන යානයක් බිම හෙළා තිබෙන මොහොතකයි.

ඉරානයේ අබ්බාස් නගරයට ඉහළින් පියාසර කරමින් තිබූ යානයකට මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පසුගිය පෙබරවාරි 28 වන දින ආරම්භ වූ අමෙරිකානු - ඊශ්‍රායල ඉරාන විරෝධී මෙහෙයුම ගැන සඳහන් කරමින්, වොෂින්ටනය පවසා ඇත්තේ තවත් කුඩා Epic Fury මෙහෙයුමක් සිදු කිරීමට ඉඩ ඇති බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා කළ එම ප්‍රකාශයත් සමඟ ටෙහෙරානය සහ වොෂින්ටනය අතර උණුසුම්කාරී තත්ත්වය වර්ධනය වෙමින් පවතින අතරතුර අබ්බාස් අරාග්චිගේ මෙම අදහස් පල විය.

“මෑතක සිට නව යුද්ධයක් ගැන කතාබහක් පවතිනවා, නමුත් මම දැනටමත් කල්පනා කරන්නේ යුද්ධයෙන් පසු කාලපරිච්ඡේදය ගැනයි. යුද්ධයක් ඇති වුවත් නැතත්, අපගේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැහැ. ඔවුන් දැනටමත් දෙවතාවක් එය සිදු කර ප්‍රතිඵල දැක තිබෙනවා. ඔවුන් නැවතත් උත්සාහ කිරීමට කැමති නම්, අතීතයට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වන බව ඔවුන් දන්නවා” යනුවෙන් ටෙහෙරානයේ පැවැති රූපවාහිනී වැඩසටහනකදී අරාග්චි පැවසීය.

ඔබගේ අදහස්