News Article

අයහපත් කාලගුණය හේතුවෙන් රඹුක්කන - පේරාදෙණිය ,ගම්පොල අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන – පේරාදෙණිය  සහ ගම්පොල  අතර දුම්රිය ධාවන කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

රඹුක්කන සහ පේරාදෙණිය  දුම්රිය ස්ථාන අතර කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නායයෑමක් සිදුවීම හේතුවෙන් දුම්රිය මාර්ගයට හානි සිදුව ඇත.

අදාළ මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊයේ (24) සහ  අද (25) යන දිනවල හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබුණද, ප්‍රදේශයට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමේ අවදානම තවමත් පහව ගොස් නොමැත.

ඒ අනුව, මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර දුම්රිය ධාවනය සඳහා පූර්ණ ආරක්ෂාව තහවුරු කරන තෙක්, අද  මධ්‍යම රාත්‍රියේ සිට අදාළ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

මෙම කාලසීමාව තුළ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ආසන වෙන්කරවා ගත් මගීන්ට, ඒ සඳහා ගෙවූ සම්පූර්ණ මුදල අදාළ දුම්රිය ස්ථානයෙන් නැවත ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

මෙම හදිසි තීරණය හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සිය කනගාටුව පළ කරයි.

අදාළ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී නිල දැනුම්දීමක් සිදුකිරීමට නියමිතය.

ඔබගේ අදහස්