News Article

ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 100ක්

ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා දායකත්වය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත “සසුනෝදය” වැඩසටහන යටතේ විහාරස්ථාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර තිබේ.

ඒ අනුව, බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල තෝරාගත් විහාරස්ථාන සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ දිස්ත්‍රික් වැඩසටහන් සංවිධානය කර ඇත.

මොනරාගල දිස්ත්‍රික් වැඩසටහන අද  (28) බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී වීමට නියමිතය.

මෙහිදී මොනරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් විහාරස්ථාන 83ක් සඳහා රුපියල් මිලියන 45ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමටද අද  නියමිතව තිබේ.

“සසුනෝදය” වැඩසටහන මගින් විහාරස්ථානවල සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය සහාය ලබාදෙමින් බෞද්ධ ආගමික හා සාසනික කටයුතු ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

ඔබගේ අදහස්