News Article

යුක්රේනයේ ආධාර මධ්‍යස්ථානයකට රුසියාවෙන් ප්‍රහාරයක් 26ක් මරුට

යුක්රේනයේ දකුණු දිග සපොරෝෂියා (Zaporizhzhia) කලාපයේ කොමිෂුවකා (Komyshuvakha) ගම්මානයේ පිහිටි මානුෂීය ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට රුසියානු ප්‍රහාරක ගුවන් යානා මඟින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම බිහිසුණු ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, මෙය සම්පූර්ණයෙන්ම 'භයංකාර' ප්‍රහාරයක් ලෙස යුක්රේන නායකයා හඳුන්වා දී ඇත.

පළමු ප්‍රහාරයෙන් පසු ජනතාව රැස්ව සිටි ස්ථානයට දෙවන වරටත් ප්‍රහාරය එල්ල වී ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේය. සතියේ සෑම සඳුදා දිනකම ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් මානුෂීය ආධාර ලබා ගන්නා බව රුසියාව හොඳින් දැන සිටි බවත්, සාමයට ඇති කැමැත්තක් නොමැති බව රුසියාව මේ හරහා යළිත් පෙන්වා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ඛේදවාචකය හේතුවෙන් සපොරෝෂියා කලාපය පුරා අද දින ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ගැලවුම්කරුවන් තවදුරටත් සුන්බුන් අතර සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටියි. කෙසේ වෙතත්, ප්‍රදේශයේ ක්‍රියාත්මක වන රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් එම ගැලවුම් මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ.

මේ අතර, අබුඩාබි නුවරදී යුක්රේන, රුසියා සහ අමෙරිකානු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ලබන සතියේ යළි සාම සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇති බව අමෙරිකානු විශේෂ නියෝජිත විට්කොෆ් ප්‍රකාශ කර ඇත. යුද පසුබිම් ආරක්ෂක විධිවිධාන සහ සාමය කරා යන ඊළඟ පියවර පිළිබඳව මෙම සාකච්ඡා වලදී අවධානය යොමු කෙරෙනු ඇත.

ඔබගේ අදහස්