පෑළියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය නවීන ප්‍රමිතීන්ට අනුව සංවර්ධනයට නව වැඩපිළිවෙළක්
අද (12) අලුයම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙදපොල සංකීර්ණයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
පෑළියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය නවීන ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වත්මන් තත්ත්වය, පවතින අඩුපාඩු මෙන්ම වෙළෙඳුන් සහ සේවකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ අතර, ඔවුන් සමඟද සාකච්ඡා කරමින් තොරතුරු විමසා බැලීය.
වෙළෙඳ සංකීර්ණය දේශීය පාරිභෝගිකයින්ට මෙන්ම විදේශීය සංචාරකයින්ටද නිදහසේ පැමිණිය හැකි නවීන පහසුකම් සහිත ස්ථානයක් බවට පත් කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය රටට සැබෑ ආර්ථික ආදායමක් උත්පාදනය කළ හැකි නවීන වාණිජ කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා පවත්වා ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැය මඟින් වෙන් කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවටත් ඔහු මෙහිදී සඳහන් කළේය.
තවද, වෙළෙඳ සංකීර්ණය තුළ පවතින අක්‍රමවත් හා බලපෑම්කාරී ක්‍රියාකාරකම්වලට ඉදිරියේදී ඉඩ නොතබන බව අවධාරණය කළ අමාත්‍යවරයා, පාරිභෝගිකයින්ට කිසිදු බියකින් තොරව පැමිණිය හැකි විනයගරුක හා සදාචාරසම්පන්න පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.
වෙළෙඳ සංකීර්ණයේ සේවකයින් සහ ව්‍යාපාරිකයින් මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට රජය කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම වෙළෙඳ සංකීර්ණය ආරක්ෂා කරගනිමින් එහි අනාගත සංවර්ධනය වෙනුවෙන් කැපවීමට ව්‍යාපාරික ප්‍රජාවටද සුවිශේෂී වගකීමක් පැවරෙන බව වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔබගේ අදහස්