News Article

2027 අයවැයට එරෙහිව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද වැඩවර්ජනයක

2027 අයවැය මඟින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ පවතින ගැටලුවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (18) දිවයින පුරා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

එම කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කර ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලය හැර දිවයිනේ සෙසු සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවයි.

මීට පෙර පැවති සාකච්ඡාවලදී විශ්වවිද්‍යාල සේවකයින් මුහුණ දෙන ගැටලු විසඳීමට රජයේ පාර්ශ්වයෙන් එකඟතා පළ කර තිබුණද, මෙවර අයවැය තුළින්ද ඒ සඳහා සාධනීය විසඳුමක් ලබාදී නොමැති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

ඒ අනුව රජයට බලපෑම් කිරීමේ අරමුණින් වැඩවර්ජනයට සමගාමීව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමටද සැලසුම් කර තිබේ.

වැඩවර්ජනයට එක්වන විශ්වවිද්‍යාලවල සේවකයින් අදාළ විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවල නිරත වීමට නියමිත අතර, කොළඹ පිහිටි විශ්වවිද්‍යාලවල සේවකයින් එක් ස්ථානයකට රැස්වී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

රුහුණු විශ්වවිද්‍යාලයේ අද දින උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන බැවින් එම විශ්වවිද්‍යාලය වැඩවර්ජනයෙන් නිදහස් කර තිබේ.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසත්, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටියි.

SNAP NEWS | When It Happens, As It Happens.

ඔබගේ අදහස්