ජීවන වියදමට එරෙහි ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගවලට විදුලි වෘත්තීය සමිතිවල සහාය
වැඩිවන ජීවන වියදම සහ උද්ධමනය හමුවේ රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්ත පුරවැසියන් මුහුණ දී සිටින ආර්ථික අපහසුතා සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් ඒ පිළිබඳව විරෝධය පළ කිරීමට විදුලි වෘත්තීය සමිති තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් අද (23) ගුරුමැදුරේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූ කාර්යාල සේවා ස්වාධීන සංගමයේ සභාපති රසික විජේරත්න මහතා සඳහන් කළේ, වර්තමාන ජීවන වියදම් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින රාජ්‍ය සේවකයන් ඇතුළු ජනතාව වෙනුවෙන් රජය මැදිහත් වීමක් සිදුකළ යුතු බවයි.
එමෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකට සහයෝගය ලබාදීමට ස්වාධීන විදුලි වෘත්තීය සමිති තීරණය කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ විදුලි සේවක සංගමයේ සභාපති එස්.එම්. චරිත් ශ්‍රී චින්තක මහතාද වර්තමාන ආර්ථික තත්ත්වය සහ සේවකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විදුලි සේවක සංගමයේ සභාපති එස්.එම්. චරිත් ශ්‍රී චින්තක මහතා සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නොමැති කටයුතු කළ නොහැකි බවට පැවති මතවාදය අද වන විට මෙරට සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ වීම හරහා බිඳ වැටී ඇති බවයි.
වර්තමානයේ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, සංවර්ධන නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයන් කළු ඇඳුමින් සැරසී විරෝධතා ව්‍යාපාරයක් දියත් කර ඇති බවත්, එම විරෝධතා මාලාවට සිය සංගමයේ සහයෝගය හා සුබපැතුම් පළ කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම, මෙරට විදුලිබල ක්ෂේත්රයේ ප්‍රධානතම ආයතනයක් වන ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කිහිපයකට වෙන් කිරීම සම්බන්ධයෙන්ද ඒ මහතා විවේචනාත්මක අදහස් පළ කළේය.
කිසිදු වගකීම් සහගතභාවයකින් තොරව විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කර ඇති බවට චෝදනා කළ ඒ මහතා, එම ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ආයතනය ලාභ ලබන තත්ත්වයකට පත්ව තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න කළේය.
විදුලිබල මණ්ඩලයේ පාඩු සඳහා එහි සේවකයන් වගකිව යුතු බවට අදහස් පළ කිරීම සාධාරණ නොවන බවත්, ආයතනයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව වගකීම තීරණය කිරීමේදී එහි පරිපාලන හා ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම, ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම, සංවර්ධන නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය, විදුලි පනත සහ වරාය සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බව ඒකාබද්ධ විදුලි සේවක සංගමයේ සභාපති එස්.එම්. චරිත් ශ්‍රී චින්තක මහතා පවසයි.
හරිනි අමරසූරිය අධ්‍යාපනය සඳහා 6%ක් වෙන් නොකළ බවත්, මහින්ද ජයසිංහ ගුරුවරුන්ට පොරොන්දු වූ තුනෙන් දෙකක වැටුප් වැඩිවීම ලබා නොදුන් බවත්, චන්දන සූරියආරච්චි සංවර්ධන නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු නොකළ බවත් ඔහු සඳහන් කළේය.
එසේම රන්ජන් ජයලාල් විදුලි පනත සම්බන්ධයෙන් පොරොන්දු වූ වෙනස්කම් සිදු නොකළ බවත්, හිටපු කථානායක අශෝක රන්වල මහතා වරාය විකිණීම නතර කිරීමට කටයුතු නොකළ බවත් පෙන්වා දුන් ඔහු, මෙම කරුණු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් වැඩකරන ජනතාව පාරට බැසිය යුතු නොවේදැයි ප්‍රශ්න කළේය.
තවද, ඉදිරියේදී විදුලි සේවකයන්ගේ වැටුප් වැඩිවීම් ලබා නොදුනහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සේවකයන් පෙළගස්වන බවද එස්.එම්. චරිත් ශ්‍රී චින්තක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබගේ අදහස්