කිලිනොච්චිය වැවේ මසුන් දහස් ගණනක් අභිරහස් ලෙස මියයයි
කිලිනොච්චිය නගරයේ පිහිටි කිලිනොච්චිය වැවේ ලොකු කුඩා මසුන් දහස් ගණනක් එකවර මියයමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. පසුගිය සෙනසුරාදා දින සිට මතුව ඇති මෙම තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පැතිර යමින් පවතී.
පැතිර යන දුර්ගන්ධය පාලනය කිරීම සහ සෞඛ්යාරක්ෂිත පියවරක් ලෙස යුද හමුදා නිලධාරීන්, ප්‍රදේශවාසීන්, ධීවර හා ජලජ සම්පත් කාර්යාලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මියගිය මසුන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
මේ අතර කිලිනොච්චිය වැවේ මසුන් සහ අනෙකුත් ජලජ ජීවීන් විශාල වශයෙන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඉල්ලීමක් කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් සම්බන්ධ කර ගනිමින් අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ, මෙම සිද්ධියට හේතු පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලබා ගන්නා ලෙසයි.
වැවේ පහළ කොටසේ විශාල මසුන්, මිරිදිය ඉස්සන් සහ මත්ස්‍ය පැටවුන් ඇතුළු ජලජ ජීවීන් විශාල සංඛ්‍යාවක් මියගොස් ජලයේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇත. වැවේ ජලය මුදා හැරීමේ ක්‍රියාවලිය සහ වාරිමාර්ග කටයුතු හේතුවෙන් ඇතිවිය හැකි ගැටලු සම්බන්ධයෙන් මතුව ඇති අවධානය සැලකිල්ලට ගනිමින්, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඔබගේ අදහස්