දසුන් සහ නුවන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි මෙවර යාවත්කාලීන වීමේදී ශ්‍රී ලංකා හිටපු සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි ඉහළ පැමිණීමට සමත් වී තිබේ.
පෙරේදා (22 වැනිදා) සිදුවූ මෙම යාවත්කාලීන වීමෙහිදී විස්සයි විස්ස පන්දු යවන්නන් අතරින් නුවන් තුෂාර සිය ඉහළම ශ්‍රේණිගත කිරීම් ලකුණු සමග 13 වැනි ස්ථානය දක්වා ස්ථාන තුනකින් ඉදිරියට ඒමට සමත්ව ඇති අතර, වනිදු හසරංග තවමත් එහි 6 වැනි ස්ථානයෙහි ස්ථාවරව සිටියි. 9 වැනි ස්ථානයෙහි රැඳී සිටි මහීෂ් තීක්ෂණ 11 වැනි ස්ථානය දක්වා පියවර දෙකකින් පසු බැස ඇත.
එසේම විස්සයි විස්ස පිතිකරුවන් අතරින් පසුගිය තරගාවලිය තුළ ප්‍රගමණයක් පෙන්නුම් කළ එකම ක්‍රීඩකයා බවට පත් වූ දසුන් ශානක, පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි පියවර 3ක් ඉදිරියට එමින් 75 වැනි ස්ථානය හිමිකරගෙන සිටියි. එසේම දසුන් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරින් එක් පියවරක් ඉදිරියට පැමිණෙමින් 20 වැනි ස්ථානයට පත්ව ඇත.
ශ්‍රී ලංකාව සමග පැවැති විස්සයි විස්ස තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වූ බංග්ලාදේශ ක්‍රීඩකයන් මෙවර ශ්‍රේණිගත කිරීම්හි වැඩි වශයෙන් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි.
ඒ අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 17ක් ඉදිරියට පැමිණෙමින් මුස්ටෆිසුර් රෙහෙමාන් 9 වැනි ස්ථානයට පත්ව ඇති අතර, මහෙදි හසන් ස්ථාන 9ක් ඉදිරියට පැමිණෙමින් 16 වැනි ස්ථානය හිමිකරගෙන සිටියි.
එසේම බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් අතරින් ටන්සිඩ් හසන් ස්ථාන 18ක් ඉදිරියට එමින් 37 වැනි ස්ථානයටද, පර්වේස් හොසෙන් එමොන් ස්ථාන 22ක් ඉදිරියට එමින් 63 වැනි ස්ථානයටද පත්වී ඇත.

ඔබගේ අදහස්