News Article

සුදුවෙන්න හදන ගැබිනි කතුන්ට අනතුරු ඇඟවීමක්

ගර්භණී මව්වරුන්, සම සුදු වීම සඳහා භාවිත කරන ක්‍රීම් වර්ග ආලේප කළහොත් ඔවුන්ට ලැබෙන බිලිඳුන් මන්දමානසික තත්ත්වයට පත්විය හැකි බවට ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය අනතුරු අඟවයි. එහි ප්‍රධානි විශේෂඥ වෛද්‍ය දීප්ති ප්‍රනාන්දු ප්‍රකාශ කළේ එම ආලේපන වර්ගවල ඇති රසදිය මවගේ රුධිරය මගින් දරුවාට සම්ප්‍රේශනය විය හැකි බවයි.

එහිදී නූපන් දරුවන්ට විශාල බලපෑමක් සිදුවන අතර එම දරුවන්ගේ වර්ධනය බාල වියහැකි බවත් ඇය අවධාරණය කළාය.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ගර්භණී මව්වරුන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බවයි ඇය ප්‍රකාශ කළේ.

වර්තමානයේ කාන්තාවන් අන්තර්ජාලය හරහා සම සුදුකර ගැනීමේ ආලේපන භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇත.

මෙය ඉතාම බරපතළ තත්ත්වයක් වන අතර එවැනි ඇතැම් ආලේපන ගෙන්වාගෙන භාවිත කර ඒවා නුසුදුසු යැයි පැමිණිලි කළද එම නිෂ්පාදන නැවත සොයා ගැනීමට නොහැකි බවද විශේෂඥවෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

මේ දිනවල තරුණ පිරිස සහ විශේෂයෙන් කාන්තාවන් සම පැහැපත්වීම සඳහා නොයෙකුත් ක්‍රීම් වර්ග ආලේප කරන අතර මෙම ආලේපන වර්ගවල අන්තර්ගතව ඇති රසදිය සම තුළින් ශරීරයට උරා ගැනීමක් සිදු නොවී සමෙහි ඇති මෙලනින් විනාශවීමක් සිදුකරනු ලබයි.

එසේම සමෙහි ඇති මෙලනින් විනාශ වීමේදී හිරු එළියත් සමග එය පිළිකා තත්ත්වයකට පරිවර්තනය වීමේ අවධානමක්ද පවතියි.

එසේම මෙම රසායනික ආලේපනය හේතුවෙන් ස්නායු ආබාධ, මතකය අඩුවීම වැනි අතුරු ආබාධද ඇතිවිය හැකි බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඔබගේ අදහස්