News Article

මිනිස් සිරුරේ සෑම අංගයකම ක්ෂුද්‍ර ප්ලාස්ටික්

මෙරට තුළ වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 269,000 ක් ජනනය වන බවත්, ඉන් ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කෙරෙන්නේ 11% ක් තරම් සුළු ප්‍රමාණයක් බව පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිසර ප්‍රතිපත්ති හා සැලසුම්) පත්මා අබේකෝන් පැවසුවාය.

මෙරට තුළ ජනනය වන ප්ලාස්ටික්වලින් සියයට 69 ක් පමණ පිලිස්සීම, ජල මූලාශ්‍රවලට බැහැර කිරීම වැනි වැරදි කළමනාකරණයකට ලක්වන බවද ඇය සඳහන් කළාය.

මෙම ප්‍රතිචක්‍රීයකරණ කටයුතු සිදු කරනු ලබන්නේ යම් සීමාසහිත ආයතන ප්‍රමාණයක් පමණක් බවත්, එම ආයතන ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පවතින බවද ඇය කියා සිටියාය.

ප්ලාස්ටික් භාවිතය අවම කිරීමෙන් පරිසර දූෂණය අඩුකළ හැකි බවද ඇය පැවසුවාය.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් මිනිස් සිරුරේ සෑම අංගයකම අන්තර්ගතවී තිබෙන බවට පර්‌යේෂණවලින් අනාවරණයවී ඇතත්, මිනිසාගේ සෞඛ්‍යයට එය බලපාන්නේ කෙසේදැයි යන්න පිළිබඳ පැහැදිලි පර්‌යේෂණ තොරතුරු නොමැති බවද ඇය පැවසුවාය. එබැවින් පර්‌යේෂණ වල අවශ්‍යතාව පවතින බවද ඇය කියා සිටියාය.

තනි භාවිත ප්ලාස්ටික් බෝතල් බැහැර කිරීම වැළැක්වීම සඳහා අදාළ නිෂ්පාදකයා විසින් වෙළෙඳ පොළට නිකුත් කරන බෝතල් ප්‍රමාණය අනිවාර්යයෙන්ම එකතු කළයුතු බවට ජාතික පාරිසරික පනතට සංශෝධන ඇතුළත් කර තිබෙන බවත් ඇය සඳහන් කළාය.

ඔබගේ අදහස්