News Article

වැඩියෙන්ම අයිස් ගහන්නේ අවු.22-26 තරුණ අය

මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් අතුරින් වැඩි පිරිසක් වයස අවුරුදු 22 – 26 අතර පසුවන්නන් බවට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් කළ පර්‌යේෂණයකදී අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පෙන්වා දෙයි.

මෙරට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් කළ එම පර්‌යේෂණයේදී අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස අතුරින් වැඩිම පිරිස හෙවත් සියයට 38ක් වයස අවුරුදු 22-26 අතර පසුවන්නන් බවට අනාවරණය වී ඇත.

දෙවැනි වැඩිම පිරිස සියයට 28ක් වන අතර එම වයස් කාණ්ඩය වයස අවුරුදු 19-21 අතර පසුවන්නන් බවට අනාවරණය වී ඇත. ඒ අනුව හඳුනාගෙන ඇත්තේ මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස අතුරින් සියයට 66ක් වයස අවුරුදු 19-26 අතර පසුවන්නන් බවයි.

මේ වන විට අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

2019 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 2073ක් ද 2020 වසරේදී 2387ක් ද, 2021 වසරේදී 13720ක් ද 2022 වසරේදී 22631ක් ද 2023 වසරේදී 26096ක් ද අත්අඩංගුවට ගෙන තිබිණි. 2023 වසරේදී මෙන් දෙගුණයකට වැඩි පිරිසක් 2024 වසරේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම ගණන 68132 කි.

2025 වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලයේදී පමණක් පුද්ගලයන් 41016ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඔබගේ අදහස්