News Article

පාතාලයට උණ්ඩ දුන්නැයි හමුදා අණදෙන නිලධාරියා අත්අඩංගුවට

කොමන්ඩෝ සලින්තගේ ඉල්ලීම මත පාතාලයට ටි 56 ජීව උණ්ඩ තොගයක් මුදලට විකුණු යුද හමුදා මල්ලාවි එක කඳවුරේ අණ දෙන නිලධාරීවරයා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන තිළිණ සම්පත් හපුආරච්චි ‌හෙවත් වලස් කටා යන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු අනුව මීට සිව් මසකට ඉහතදී අණ දෙන නිලධාරීවරයා මෙම ජීව උණ්ඩ අවස්ථා දෙකකදී ලබා දුන් බවට අනාවරණය වී තිබේ.

එවකට විදේශගතව සැඟව සිටි කොමන්ඩෝ සලින්ත නමැත්තාගේ ඉල්ලීම මත සැකකාර අණදෙන නිලධාරීවරයා ඔහුට අයත් නිල කැබ් රථයෙන් ගම්පහ ප්‍රදේශයේදී තමන් වෙත එක් අවස්ථාවක ජීව උණ්ඩ තොගයක් ලබා දුන් බවත් ඉතිරි තොගය සලින්තගේ උපදෙස් මත තවත් අයකුට ලබා දී තිබූ බව වලස් කටාගෙ ප්‍රකාශයකින් අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

ඒ අනුව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගලගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාගේ මෙහෙයවීමෙන් අණ දෙන නිලධාරීවරයා ඊයේ (11වැනිදා) බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසය වෙත කැඳවා සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කොමන්ඩෝ සලින්ත නමැත්තා 2015 වසරේදී තමන් යටතේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ බවත් ඒ හිතවත්කම මත ඔහුගේ ඉල්ලීම අනුව තමන් ජීව උණ්ඩ 260කට අධික ප්‍රමාණයක් සිය ජීප් රථයෙන් රැගෙන විත් සලින්ත නමැත්තා නම් කරන ලද පුද්ගලයන් දෙදෙනකුට ලබා දුන් බවත් අනාවරණය කළ බව පොලිසිය කියයි.

ඒ වෙනුවෙන් කොමන්ඩෝ සලින්ත නමැත්තා තමන්ගේ බැංකු ගිණුමට අවස්ථා පහකදී රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක් බැර කළ බව අණ දෙන නිලධාරීවරයාගෙන් දිගින් දිගට සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.

සැකකාර අණදෙන නිලධාරීවරයා ජීව උණ්ඩ තොගේ රැගෙන ආ ජීප් රථයද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ඔබගේ අදහස්