ගෘහභාණ්ඩ මුවාවෙන් පිරමිඩ ජාවාරමක්
විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, ඔරලෝසු, විසිතුරු භාණ්ඩ, සෝලා පැනල් ද්‍රව්‍ය අලෙවි කරන මුවාවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණ පිරමිඩ ජාවාරමකට 50,000කට අධික පිරිසක් හසුවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
කොල්ලුපිටිය ආර්.ඒ.ද මෙල් මාවත, අංක 403 ලිපිනයේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ගලික සමාගම විසින් සිදුකරගෙන ගිය මෙම පිරමිඩ ජාවාරමට, දිවයින පුරා සාමාජිකයන් ලක්ෂ එකහමාරකට අධික පිරිසක් ඇතුළත් කරමින්, ඉතා සූක්ෂම ආකාරයෙන් අදාළ ජාවාරම සිදුකර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර වෙත දන්වා සිටියේය.
මෙම පිරමිඩ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ විල්වරාජන් විජේරත්නම් එහි අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ ප්‍රියන්ත ප්‍රේමනාත්, නාමල් බණ්ඩාර කුලතුංග, සෝලමුත්තු සිවරාජා සහ එහි වෙළෙඳ ප්රචාරක කටයුතු සිදුකළ බව කියන පල්ලේගෙදර ප්‍රේමකීර්ති බණ්ඩාර සහ සුසන්ත බණ්ඩාර නමැති සැකකරුවන් 7 දෙනා ලබන මස 4 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ තෙවැනි සැකකාරිය වන ඇනීටා ශිරානි කපුවත්ත යන අය 2015 මැයි 3 වැනිදා විධායක නොවන අධ්යක්ෂවරියක් ලෙස මෙම පිරමිඩ සමාගමට සම්බන්ධ වී මාසිකව රුපියල් ලක්ෂ 6ක පමණ වැටුප් ලෙස ලබාගෙන ඇති බවත්, ඇය විසින් මැලේසියාවේ පිහිටි විජය ඊශ්වරන් යන අයගේ අධ්‍යාපනික ආයතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමග ලේඛන මගින් සම්බන්ධ වී අධ්‍යාපන පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට සම්බන්ධ වී ඇති බවට අනාවරණය වූයේ යැයි දන්වා සිටියේය.
එම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව අදාළ සමාගමේ කටයුතුවලට සම්බන්ධ වී නොමැති බවත් අධ්‍යාපන ආයතනයට පමණක් සම්බන්ධ වී සිට ඇති බවත් ඇය 2020 වසරේදී එම සමාගමෙන් ඉවත් වී ඇතැයි ද දන්වා සිටියේය. මෙම පිරමිඩ සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ කඩවත, මහර පදිංචි ජනාර්තන් ත්‍යාගරාජා අත්අඩංගුට ගැනීමට විමර්ශන සිදුකළද, ඔහු පදිංචි ස්ථානවල නොමැති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.
නීතිපතිවරයාගේ උපදෙස් දීර්ඝ කාලයකින් ලැබීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් මෙවැනි ආයතන හරහා මෙරට ආර්ථිකයට සිදුවිය හැකි දේ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරමින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කරන බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස්