News Article

මහනුවර පාසලක සිදු වූ බව කියන අපයෝජන සිද්ධිය ගැන පරීක්ෂණ ඇරැඹේ

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 09 හැවිරිදි දැරියක පාසල තුළදී පිටස්තර පුද්ගල විසින් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පාසල තුළ අත්විඳින්නට වූ සිදුවීම සම්බන්ධයෙන් ඇය දෙමව්පියන්ට පැවසීමෙන් පසු ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර දැරිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිසුවිය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව මහනුවර පොලිසිිය පවසයි.

පාසලේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී පිටස්තර පුද්ගලයෙකු විදුහලට ඇතුළු වී තිබෙන බව හෙළිව තිබෙන අතර ඔහු විදුහලට ඇතුළු වූයේ කුමන ස්ථානයෙන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.

පාසලේ වසර ගණනාවක් සේවය කළ පළපුරුදු ආරක්ෂක නිලධාරීන් පසුගිය කාලයේදී ඉවත්කර නවක පිරිසක් බඳවා ගත් බවත් මෙවන් අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවීමට එයද බලපා ඇති බවත් මව්පියෝ පාසල් පාලනාධිකාරියට දැනුම් දී තිබේ.

ඔබගේ අදහස්