News Article

විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සිසුවකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

කාලයක් තිස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු එහි ශාස්ත්‍ර පීඨ සිසුවකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පරිපාලන අංශ ඊයේ (09 වැනිදා) පියවර ගත්තේය.

ඔහුගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත්තේ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පැවැත්වීමට බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ සවස විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි.

තෙවැනි වසරේ අධ්‍යයන කටයුතු කරන මෙම සිසුවා විශ්වවිද්‍යාලයීය විනය පාලක අංශයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෑෂ් ග්‍රෑම් 250ක් සහ එක් වරකට පාවිච්චි කළ හැකි ආකාරයට සකස් කළ කුෂ් පැකට් 68ක් සමග ය. මත් පෙති, රුපියල් 75000 ක් හා මත්ද්‍රව්‍ය මැනීම සඳහා භාවිත කරන ඉලෙක්ට්‍රොනික් තරාදි ඇතුළු උපකරණ ද ඔහු සතුව තිබී ඇත.

එම අවස්ථාවේ ඔහු සිට ඇත්තේ ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් නේවාසිකාගාරයේ ය. විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු අවසන් කළ සිසුවෙක් ද මෙම සිසුවා සමග සිට ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග කීවේය. සෙසු පීඨවල සිසුන් ද සම්බන්ධ කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම කර ගෙන ගොස් ඇති බවට පරිපාලන අංශ සැක කරයි.

අත්අඩංගුවට ගෙන පැය දෙකක පමණ කාලයකින් මෙම සිසුවා පොලිසියට භාර දී තිබෙන අතර එම කාලයේ දී සිසුවාගේ දුරකථනයට ඇමතුම් කිහිපයක්ම ලැබී තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය. අත්අඩංගුවට ගත් දිනයේ සිසුන්ගේ වැඩසටහන් කිහිපයක්ම තිබී ඇත.

පොලිසියෙන් ලැබුණු රහසිගත තොරතුරක් මත පරීක්ෂාවෙන් සිට ඇති විනය පාලක අංශයේ නිලධාරීන් වන අනුර වේරහැර සහ සාලිය වන්නිආරච්චි ඇතුළු පිරිසක් සිසුවා අත්අඩංගුවට ගැනීමට මාස දෙකක පමණ කාලයක් ඔහු සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වී තිබේ. නේවාසිකාගාරයේ ඔහුගේ කාමරයේ දී ම මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ ඒ අනුව ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

ඔබගේ අදහස්