News Article

සහකාරියන් සොයා එන “දඟර මුල්ලා’’ කල්පිටි මුහුදේ කරනම් ගසයි

කල්පිටිය ආශ්‍රිත මුහුදේ මේ දිනවල සැරිසරන ඩොල්ෆින් මසුන් දැක ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් එම ප්‍රදේශයට පැමිණෙති.

කල්පිටිය ආශ්‍රිත මුහුදේ ජීවත් වන්නේ “දඟර මුල්ලා’’ නමින් හඳුන්වන ඩොල්ෆින් මත්ස්‍ය විශේෂය බව වන ජීවි නිලධාරීහු සඳහන් කරති. සෑම වසරකම දෙසැම්බර් සිට එළඹෙන වසරේ මාර්තු මාසය අවසන් කාලය වන තුරු ඩොල්ෆින් මසුන් කල්පිටිය ආශ්‍රිත මුහුදු තීරයේදී දැක ගත හැක.

කල්පිටිය - කන්දකුලිය, ඉලන්තිඅඩිය ආශ්‍රිත වෙරළ තීරයෙන් බෝට්ටුවක නැගී කිලෝ මීටර 05ක් පමණ බටහිර මුහුදට ගමන් කළ විට ඩොල්ෆින් මසුන් දැක ගන්නට හැකියාව ඇත්තේය.

කුඩා මෙන්ම විශාල රංචු වශයෙන්ද එම ඩොල්ෆින් මසුන් මුහුදේ සැරිසරති. ඒ අතරින් යොවුන් වියේ පසුවන ඩොල්ෆින් මසුන් ඉහළට පැන කරනම් ගසන ආකාරයක්ද දැක ගැනීමට හැකියාව ඇත්තේය. තමන්ට සහකාරියක් සොයා ගැනීමේ අරමුණ ඇතිව පිරිමි ඩොල්ෆින් සතුන් විසින් කරනම් සංදර්ශන ඉදිරිපත් කරන බව ධීවරයන්ගේ අදහසයි.

මිනිස් වාසයට වැඩි කැමැත්තක් දක්වන බව කියන ඩොල්ෆින් මසුන් ඔවුන් දැක ගන්නට සංචාරකයන් පැමිණෙන බෝට්ටු ආශ්‍රිතව ගැවසෙමින් සිටින ආකාරයද මනරම්ය.

ක්ෂීරපායි ඝනයට අයත් ඩොල්ෆින් මත්සයන් ඇතැම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගොස් සිටි අවස්ථාවන්ද පසුගිය කාලයේ වාර්තා විණි.

ඔබගේ අදහස්