News Article

බහලුම් ප්‍රවාහන ගාස්තු 5%කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු කාරණා කීපයක් හේතුවෙන් ආනයන, අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තු ඊයේ (01 වැනිදා) සිට සියයට පහකින් (5%) ඉහළ දැමූ බව බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවැසීය.

මැද පෙරදිග යුදමය වාතාවරණය සමග නැව් ගාස්තු විශාල ලෙස ඉහළ යාමත් සමග ආනයනික භාණ්ඩ මිල ඉහළ ගිය බවත්, ඒ සමග බහලුම් රථ සඳහා යොදන ලිහිසි තෙල්, ටයර්, බැටරි, අමතර කොටස් මිල ගණන් ද ඉහළ ගොස් තිබෙන බවත් ඔහු පැවැසුවේය.

ඩීසල් ගාස්තු මීට පෙරදී රුපියල් 10 කින් ඉහළ ගිය අවස්ථාවේදී බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන් කටයුතු නොකළ බවත්,‍ මෙවර ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ යාම නිසාත්, අමතර කොටස් මිල ගණන් ඉහළ යාමත් යන කාරණා මත බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළ දැමීමට සිදුවන බවත් ඔහු කීවේය.

මේ වනවිට විදුලි බිල ඉහළ ගොස් තිබීම නිසා නඩත්තු සේවා සහ සේවා ගාස්තු ද ඉහළ ගොස් තිබෙන බවද ඔහු පැවැසීය.

ඉන්ධන සපයා ගැනීමේදී ද බහලුම් ප්‍රවාහන රථ රියැදුරන් අපහසුතාවට පත්ව සිටින බවත්, රටේ ඉන්ධනහල්වලින් සියයට 80 කින්ම බහලුම් ප්‍රවාහන රථවලට ඉන්ධන සපයන්නේ අක්‍රමිකතා යටතේ බවත් ඔහු කීවේය.

සතියකට ඉන්ධන ලීටර් 300 ක කෝටාවක් ලබා දුන්නද, ඉන්ධන හල්වල පොම්පකරුවන්ට අතිරේක මුදලක් ලබාදීමට බහලුම් ප්‍රවාහන රථ රියැදුරන්ට සිදුවී ඇති බවත්, ඊට හේතුවී ඇත්තේ ඉන්ධනහල්වලින් ඔත්තේ, ඉරට්ටේ ක්‍රමවේදය නිසා නිසියාකාරව ඉන්ධන නොසැපයීම නිසා බවත් ඔහු පැවැසීය.

උදාහරණයක් ලෙස කොළඹ සිට අනුරාධපුර බලා යන බහලුම් ප්‍රවාහන රථයක් පසුදින ආපසු පැමිණීමේදී යළි ඉන්ධන සපයා ගැනීමේදී යළි ගැටලු තත්ත්වයක් මතුවී තිබෙන බවද ඔහු කීවේය.

ඔබගේ අදහස්