News Article

එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට ඇති වියහැකි බලපෑම

පැසිෆික් සාගර කලාපයේ ලබන මාසයේදී වර්ධනය විය හැකි බවට අනාවැකි පළ කෙරෙන එල්-නිනෝ (El-Nino) තත්ත්වය මෙවර ප්‍රබල විය හැකි බව කාලගුණ විද්‍යා අංශ සඳහන් කරන්නේය. මෙමගින් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් රැසකට බලපෑමේ අවදානමක් පවතින්නේය.

එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට ඇති වියහැකි බලපෑම සම්බන්ධව මේ වනවිට දැඩි කතා බහකට ලක්ව තිබෙන්නේය. එල්-නිනෝ බලපෑම මත ඉදිරි ජූලි, අගෝස්තු මාසවලදී මෙරට වැසි තත්ත්වයේ අඩුවීමක් සේම උණුසුම් තත්ත්වය ඉහළ යාමක් සිදුවිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේය.

මධ්‍යම පැසිෆික් සාගරයේ සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිවීම එල්-නිනෝ ලෙසත්,උෂ්ණත්වය අඩුවීම ලා-නිනා ලෙසත් හඳුන්වන්නේය.මෙම ක්‍රියාවලිය පොදුවේ හඳුන්වනු ලබන්නේ “එල්-නිනෝ දක්ෂිණ දෝලනය (El-Nino Southern Oscillation (ENSO) නමිනි. මෙම තත්ත්වය වායුගෝලයේ සාමාන්‍ය සුළං රටාව වෙනස් කිරීමටද බලපෑම් ඇති කරයි.

එල්-නිනෝ තත්ත්වයක් ඇතිවන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 2 ත් 7 ත් අතර කාලයක් තුළදී බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පවසන්නේය.

පැසිෆික් සාගර කලාපය තුල 1972-73 වසර වලදීත්,1982-83 වසර වලදීත්, 1997-98, 2015-16, 2023-24 යන කාලයන්වලදී ප්‍රබල එල්-නිනෝ තත්ත්වයන් වාර්තාවී තිබෙන බව කී අධ්‍යක්ෂවරයා සෑම එල්-නිනෝ තත්ත්වයක්ම ප්‍රබල නොවන බවද කීවේය.

පැසිෆික් සාගර කලාපයේ එල්-නිනෝ තත්ත්වයක් ඇතිවූ පසුව එම සාගර කලාපයේ උණුසුම් තත්ත්වය මාස 08 ත් 11 ත් අතර කාලයක් පවතින බවද අධ්‍යක්ෂවරයා පවසන්නේය. එල්-නිනෝ තත්ත්වයේ උපරිමය බොහෝ දුරට ඇතිවන්නේ දෙසැම්බර් මාසයේදීය.

එල්-නිනෝ තත්ත්වයේ ආරම්භයට අදාළ සලකුණු මේ වනවිට පෙන්නුම් කෙරන බවත් ඝෘතූන් වල වර්ෂාපතනය වෙනස්වීමට තවත් සාධක බලපාන බවත් ඔහු පැවසීය.ඉන්දියානු සාගරයේ උණුසුම වෙනස්වීම (Indian Ocean Dipole) මෙරටට ඝෘජුවම පවතින බවද ඔහු කීවේය.

නිරිත දිග මෝසමෙන් වැඩිපුර වර්ෂාපතනය ලැබෙන්නේ මෙරට නිරිත දිග කොටසටය.එනම් වයඹ,බස්නාහිර,සබරගමුව යන පළාත්වලට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටය.උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සහ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ පිහිටි මාතලේ දිස්ත්‍රික්කයට නිරිත දිග මෝසමෙන් ලැබෙන වර්ෂාපතනය අඩු බව අධ්‍යක්ෂවරයා කියා සිටින්නේය.නිරිත දිග මෝසම පවතින්නේ මාස පහක පමණ කාලයකි.

“එල්-නිනෝ පැවතියත් නැතත්,ජූලි,අගෝස්තු මාසවලදී කොහොමත් වර්ෂාපතනය අඩුයි. එල් - නිනෝ බලපෑම නිසා එම වැස්ස තවත් අඩු වෙනවා.ඒ වගේම උණුසුමත් ටිකක් වැඩි වෙනවා.කෙසේ නමුත්,අපේක්ෂිත වැස්ස සැප්තැම්බර් මාසයේදී ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.මොකද,සැප්තැම්බර් අවසානයේදී ලංකාව ආසන්නයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා.“ඔහු කීවේය.

ප්‍රබල එල්-නිනෝ තත්ත්වයන් පැවති පසුගිය වසරවල ඔක්තෝබර්,නොවැම්බර් මාස වලදී මෙරට වර්ෂාපතනයේ වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාප නිර්මාණය වන්නේද මේ මාස වලදීය.එවැනි තත්ත්වයන් වලදීද සාමාන්‍ය තත්ත්වයට වඩා වර්ෂාපතනය වැඩිවීම සිදුවේ.

ජූලි,අගෝස්තු,සැප්තැම්බර් යන මාසවලදී ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම ඉතා වැදගත් බව අධ්‍යක්ෂවරයා කියන්නේය.

ජල කළමනාකරණය සඳහා සූදානම්වීමේ අවශ්‍යතාවය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වගකිවයුතු අංශවලට කල් ඇතිවම පෙන්වාදී තිබේ.

“එල්-නිනෝ තත්ත්වය ගෝලීය වශයෙන් ලෝකයේ බොහෝ තැන්වලට බලපානවා.ඉන්දුනීසියාව,ඕස්ට්‍රේලියාව ආදී රටවල වියළි කාලගුණිත තත්ත්වය වැඩි වෙනවා.ඉන්දියාවේත් වර්ෂාපතනය අඩු වෙනවා.ඉන්දියාව ජලය සපයා ගන්නේ නිරිත දිග මෝසමෙන්.මේ නිසා නිරිත දිග මෝසමෙන් ඉන්දියාවට වැස්ස අඩුවීම ඔවුන්ගේ කෘෂි කර්මයට බලපෑමක් එල්ල කරනවා.“යැයිද අධ්‍යක්ෂවරයා පවසන්නේය.

මෙරටට ආහාර ද්‍රව්‍ය රැසක් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාව,පාකිස්තානය ආදී රටවල්වලිනි.ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා ඉන්දියාව ඇතුළු කලාපයේ රටවල් ආහාර සුරක්ෂිතතා ක්‍රමවේද අනුගමනය කරමින් අපනයන සඳහා සීමා පැනවුවහොත් එය ශ්‍රී ලංකාව වැනි රටවල්වලටද බලපෑමක් එල්ල කරන්නේය. ඒ පිළිබඳවද මෙරට අවධානය යොමු වියයුතුව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයන් ඇතුළු පාර්ශ්ව රැසක සහභාගිත්වයෙන් කොළඹදී ඊයේ (11 වැනිදා) පැවැති සාකච්ඡාවකදීද එල්-නිනෝ තත්ත්වය බරපතළ වුවහොත් ඉන්දියාව,පාකිස්තානය ආදී රටවලින් ආහාර ආනයනය කිරීමේදී මතුවිය හැකි ගැටලු සම්බන්ධවද කතා බහට ලක්ව ඇත.

ජලය ආරක්ෂා කර ගැනීම සඳහා මෙවර යල කන්නයේදී වර්ෂාව සමග බිම් සකස් කරන ලෙස ගොවීන්ට උපදෙස් ලබාදී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) වයලා ශ්‍යාමලී කියා සිටියාය. දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට සහභාගිවෙමින් ඇය කියා සිටියේ උෂ්ණත්වය වැඩිවීම මත වගාවන්ට රෝග පළිබෝධ ඇතිවීමේ අවස්ථාව වැඩි බැවින්,රෝග පළිබෝධ පාලනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බවය.

ඔබගේ අදහස්