News Article

අලුත් පරපුරේ දරුවන්ගේ ඇස්වල කඳුළු හිඟයක්

නවීන තාක්ෂණයත් සමග ජංගම දුරකථන පරිගණකය භාවිතය සුලභ වීම නිසා පාසල් වියේ පසු වන දරුවන්ට පවා අක්‍ෂි රෝග ඉතා සුලභ වී ඇත.

ඇසෙහි වියළි බව එසේත් නැතිනම් ඩ්‍රයි අයි නමැති රෝග තත්ත්වය එලෙස හටගන්නකි. ඇස් වියළීම යනු ඇසේ ස්වාභාවික තෙතමනය නැති වීමයි.

සරලව පැවසුවහොත් වියළි ඇසක ප්‍රධානම ලක්ෂණය වන්නේ ඇසෙහි කඳුළු නැතිවී යාමයි. නමුත් ඇස හොඳින් ක්‍රියාකාරී වීමට නම් ඇසට කඳුළු අත්‍යවශ්‍ය වේ.

බැලූ බැල්මට කඳුළු වතුර හා සමාන වුවත් මෙය ස්තර තුනකින් නිර්මාණය වී ඇත. එහි පිටතින් මේදමය තට්ටුවකින් වැසී පවතින අතර මැදින් ඇති ස්තරයේ වැඩිපුරම ජලය පවතී. අමතරව නොයෙකුත් ලවණ වර්ග හා ප්‍රෝටීන අන්තර්ගත වේ. ඇතුළතින් ඇති ස්තරයේ මියුසින් නමැති ද්‍රව්‍ය අඩංගු වෙයි.

කඳුළුවල වැදගත්කම

ඇසෙහි ඇතුළතින් ඇති සියලුම ස්තරවලට පෝෂණය සැපයීම.

ඇසට ඇතුළුවන දුම් දූවිලි වැනි බාහිර අපද්‍රව්‍ය සෝදා ඉවත් කිරීම.

පෙනීමේදී වැදගත් මාධ්‍යයක් වශයෙන් ක්‍රියා කිරීම.

ඇස වියළීමෙන් ආරක්ෂා කර දීම.

ඇස වියළීම බොහෝ විට කාන්තාවන් තුළ බහුලව දැකිය හැකි රෝගයකි. මාසික ඔසප් වීම් නතර වන විට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙසින්ද මෙලෙස ඇස වියළීමට ලක්වේ. එමෙන්ම පරිගණක ආශ්‍රිත රැකියාවන්වල නිරත වන්නන්, ජංගම දුරකථන බහුලව භාවිතා කරනන් හා පාසල් දරුවන් තුළත් අද වන විට ඇස වියළීමේ රෝග තත්ත්වය සෑදීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි.

ඇස වියළීම හඳුනාගන්නේ කෙසේද?

අක්ෂි වෛද්‍යවරයෙකුට මෙය ඉතා පහසුවෙන් හඳුනාගත හැකි අතරින් පහත ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් ඔබටද එය පහසුවෙන් හඳුනාගත හැකි වනු ඇත.

ඇසට වැලි කැටයක් ඇතුළු වූවා වැනි ස්වභාවයක් දැනීම

ඇස මඳ රත් පැහැයක් ගැනීම.

ඇස තද වී ඇතිවන්නාක් මෙන් දැනීම.

ඉර එළිය බැලීමට ඇති අපහසුතාව.

ඇසේ ඇතිවන මද දැවිල්ල.

බොඳ වී පෙනීම.

ඇසෙහි ජල ප්‍රමාණය අඩුවීම, වාෂ්පීකරණය වේගය වැඩිවීම, ඇසේ ඇතිවන ආසාත්මිකතා සහ ප්‍රදාහ තත්ත්ව නිසාත් අඩු වාර ගණනක් ඇසිපිය ගැසීම වැනි කරුණු මෙලෙස ඇස් වියළීමට බලපාන ප්‍රධාන හේතු ලෙස දැක්විය හැකියි.

කඳුළුවල ඇති ජල ස්තරය අඩුවීම නිසා ඇතිවන ඇසෙහි වියළි බවට හේතු

අධික උණ ඇතිවිට.

ඇසේ පෙනීම වැඩිකර ගැනීමට කරන ලේසර් ක්‍රම නිසා ද පසුකාලීනව ඇස වියළීමට ලක්වේ.

ඇතැම් ඖෂධ දිගු කාලයක් භාවිතා කිරීමත් ඇස වියළීමට හේතු විය හැකියි. (මුත්‍රාකාරක සහ අධික රුධිර පීඩනයට භාවිත කරන ඖෂධ)

කාන්තාවන්ගේ ආර්තවහරණය සමගද මෙම තත්ත්වය ඇතිවෙයි.

කඳුළුවල වාෂ්පීකරණය වැඩිවීම නිසා ඇසේ ඇතිවන වියළි බවට හේතු

අවට පරිසරයේ ඇති වෙනස්කම්. එනම් වාතයේ ආර්ද්‍රතාවය, ශරීරයේ උෂ්ණත්වය, සුළඟේ වේගය වැනි කරුණු නිසා.

වායුසමනය හා විදුලිපංකාවලට ඇබ්බැහි වීම නිසා.

ඇසට ඇතිවන ප්‍රදාහ තත්ත්ව සහ ආසාත්මිකතා නිසා ඇතිවන වියළි බවට හේතු වන්නේ විවිධ අක්‍ෂි රෝගවල අතුරුපලයන්ය.

රූපවාහිනිය, ජංගම දුරකථන බොහෝ වේලාවක් භාවිතා කරන විටදී සහ පරිගණකය අධික කාලයක් භාවිතා කරන විට ඒ දෙසට අවධානය යොමු කරන බැවින් ඇසිපිය හෙළන වාර ගණන අඩුවී යයි. එවිට ඇසිපිය ගැසීම වාර ගණන අඩුවීම ඇස වියළීමට ලක්වීම බලපායි.

මෙම කරුණු කාරණාවලට අමතරව කඳුළුවල පිටතින් ඇති තෙල් ස්ථරය ශ්‍රාවය කරන ග්‍රන්ථිවල අවහිරතාවයන් නිසාත් ඇසේ වියළි බව හටගනී.තරුණ අය අතර ජනප්‍රිය සිවිකාච පැලඳීම නිසාද මෙම තත්ත්වය ඇති වේ.

ඇසේ වියළි බව පිළිබඳ ආයුර්වේද මතය

අෂ්ටාංග ආයුර්වේදයේ ශාලක්‍ය තන්ත්‍රය තුළ අක්ෂි රෝග සම්බන්ධව සඳහන් වී ඇත. ඒ අනුව ඇසේ වියළීම හට ගැනීමට හේතුව ලෙස එහි දක්වා ඇත්තේ ආයුර්වේදයේ මූලික දෝෂ තුන අතරින් වාත දෝෂය කෝපවීමයි.

වාතය කුපිත වීම නිසා ඇසේ ඇතිවන වියළි බව සහ අනෙකුත් සංකූලතා දුරුකර ගැනීමට වාත ශමන ප්‍රතිකාර විධිමත් ආකාරයට යොදාගත හැකි අතර එමඟින් කිසිදු අතුරු උපද්‍රවයක් ඇසට නොවේ. එම ප්‍රතිකාර මගින් ඇස වියළීම අඩුකරවන අතර අනෙක් ඇසේ කොටස් වලටද හොඳින් පෝෂණය ලැබීම නිසා ඇසේ පෙනීමද වැඩි දියුණු වේ.

ඔබගේ අදහස්